පොත් ලැයිස්තුව

පුරුස පියරූප සූත්‍රය

star_outline

​බුදුරජාණන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් අසන ලදී.

​මෙම දේශනාව ඉතිවුත්තක පාලියේ සඳහන් වන ඉතාම වටිනා උපමා සහිත දේශනාවකි. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මෙසේ දේශනා කළහ.

​"මහණෙනි, ප්‍රිය ස්වභාවය ඇති, සැප ස්වභාවය ඇති රන්, රිදී, මුතු, මැණික් ආදී වස්තුවක් නිසා එක්තරා පුරුෂයෙක් ගංගාවේ සැඩ පහරින් පහළට ගෙන යනු ලබයි. ගඟ අයිනේ සිටින ඇස් පෙනෙන මිනිසෙකු ඔහු දැක, ඔහුට කතා කොට මෙසේ කියයි: 'පුරුෂය, ඔබේ ප්‍රිය ස්වභාවය ඇති, සැප ස්වභාවය ඇති වස්තුව නිසා ඔබ ගඟෙහි දිය පහරින් පහළට ගෙන යනු ලබයි. මෙම ගඟේ පහළ රළ සහිත වූ, දිය සුළි සහිත වූ, චණ්ඩ මත්ස්‍යයන්ගෙන් ග්‍රහණය වූ, දිය රකුසන් සහිත වූ මහා විලක් ඇත. ඔබ ගගදිගේ පහළට ගියහොත් එම විලට පැමිණෙනු ඇත. එම විලේදී ඔබ මරණයට හෝ මාරාන්තික දුකකට හෝ පත්වනු ඇත.' මෙම ප්‍රකාශය අසා, තමාගේ ජීවිතයට ඇති අවදානම තේරුම් ගත් ඒ මිනිසා, ගඟේ පහළට ගමන් කරන ස්වභාවය, නතර කරමින් අතින් පයින් උත්සාහ කරමින් දිය පහර තරණය කරගෙන ගොඩට ආවේය."

​බුදුරජාණන් වහන්සේම මෙම උපමා කතාව දේශනා කොට ඉන්පසුව මෙසේ වදාළ සේක. "මහණෙනි, මා විසින් දේශනා කරන ලද්දේ උපමා කතාවකි. එය වටිනා ධර්ම අර්ථයක් පැහැදිලි කර දීම අරමුණු කරගෙන දේශනා කරන ලදී."

​නදියා සෝතෝති ඛෝ භික්ඛවේ තණ්හායේතං අධිවචනං: මහණෙනි, ගංගාවේ වේගයෙන් පහළට ගසාගෙන යන සැඩ පහර යනු තණ්හාවට කියන නමකි.

​පියරූපං සාතරූපන්ති ඛෝ භික්ඛවේ, ඡන්නං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං: ප්‍රිය ස්වභාවයෙන් යුතු, සැප ස්වභාවයෙන් යුතු රන් රිදී ආදී වස්තුව යනු, ආධ්‍යාත්මික ආයතන හයට කියන නමකි.

​හෙට්ඨා රහදෝති, ඛෝ භික්ඛවේ පංචන්නං ඕරම්භාගියානං සංයෝජනානං අධිවචනං: ගඟේ පහළ පිහිටි භය සහිත මහා විල යනු ඕරම්භාගිය සංයෝජන පහට කියන නමකි.

​සඌමීති ඛෝ භික්ඛවේ කෝධූපායාසේතං අධිවචනං: රළ යනු ක්‍රෝධ උපායාසයට කියන නමකි. ​සාවට්ටෝති ඛෝ භික්ඛවේ, පංචන්නං කාමගුණානං අධිවචනං: මහණෙනි, දිය සුළිය යනු පංච කාම ගුණයන්ට කියන නමකි.

​සගහෝ සරක්ඛසෝති, මාතුගාමස්සේතං අධිවචනං: දරුණු යක්ෂයෝ යනු කාන්තාවට කියන නමකි.

​පටිසෝතෝති නෙක්ඛම්මස්සේතං අධිවචනං: පටිසෝතය හෙවත් ගඟේ උඩහට ගමන් කිරීම යනු නෙක්ඛම්මයට (නික්මීමට) කියන නමකි.

​හත්ථේහි ච පාදේහි ච වායාමෝති, විරියාරම්භස්සේතං අධිවචනං: අතින් පයින් උත්සාහ කිරීම යනු වීර්යය ආරම්භ කිරීමට කියන නමකි.

​චක්ඛුමා පුරිසෝ තීරේ ඨිතෝති, තථාගතස්සේතං අධිවචනං අරහතෝ සම්මා සම්බුද්ධස්ස: ගංගා තීරයේ සිටි ඇස් පෙනෙන පුරුෂයා යනු අරිහත් වූ, සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේට කියන නමකි.

මෙම දේශනාවේදී ඉතා ලස්සන උපමාවක් දක්වා තිබේ. තමාට කැමති වූ, ප්‍රිය වූ, මිහිරි වූ, වටිනා දෙයක් ලබා ගැනීම පිණිස මිනිසෙකු ගඟෙහි පහළට පීනයි. ගොඩ සිටින මිනිසෙකු ඔහු පහළට යනවා දැක මෙසේ කියයි: "පින්වතා, ඔබ බලාපොරොත්තු වන්නේ ප්‍රිය වස්තුවක් ලැබීමට නමුත් මේ ගඟ ඉතා භයානකයි. ගඟේ පහළට වන්නට මහත් වූ පොකුණක් පිහිටා ඇත. එම පොකුණ විශාලයි, දරුණු රළ පහර ඇත, දරුණු මත්ස්‍යයන් ඇත. ඔබ එම පොකුණේදී මරණයට පත්විය හැකිය, මාරාන්තික දුකකට හෝ පත්විය හැකිය."

​එය ඇසූ ගඟේ පිහිනාගෙන යන මිනිසා, "මට සිදුවන්නේ මහා විපතකි" යනුවෙන් සිතා දැඩි වීර්යයකින් යුතුව අතින් පයින් උත්සාහ කරමින් පීනාගෙන ගඟෙන් එගොඩ වන්නේය. මෙම උපමා කතාවෙන් පැහැදිලි කර දෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට උපකාර වන ඉතා වටිනා අර්ථ සමූහයකි.

​තණ්හා සැඩ පහර

​තණ්හාව යනු ආසාවය. ඇලීම, බැඳීම ආදී නොයෙක් නම්වලින් එය හඳුන්වනු ලැබේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා යනුවෙන් තණ්හාවේ ප්‍රභේද හයකි.

​කාමච්ඡන්දය හෙවත් කාමරාගය මුල් වීම: රූපයට ආශා කරන විට ඇතිවන්නේ කාම තණ්හාවයි. මේ රූපය නිත්‍යයි, ස්ථිරයි, සදාකාලිකයි, වෙනස් නොවේ ආදී වශයෙන් ශාස්වත දෘෂ්ටිය තුළ පිහිටා රූපයට ආශා කරන විට ඇතිවන්නේ භව තණ්හාවයි. රූපය නැසෙන්නේය, සිඳෙන්නේය, වැනසෙන්නේය, මරණින් මතු නොවන්නේය යනුවෙන් උච්ඡේද දෘෂ්ටිය මත පිහිටා ඇලුම් කරන විට විභව තණ්හාව හටගනී.

​කාමච්ඡන්දයෙන් ශබ්දයට ඇලුම් කිරීම කාම තණ්හාවයි. ශාස්වත දෘෂ්ටියෙන් යුතුව ශබ්දයට ඇලුම් කිරීම භව තණ්හාවයි. උච්ඡේද දෘෂ්ටියෙන් යුතුව ශබ්දයට ඇලුම් කිරීම විභව තණ්හාවයි.

​මේ ආකාරයට ගඳ, සුවඳ, රසය, පහස, ස්පර්ශය යන මේවා මුල් කරගෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා හටගන්නා ආකාරය සිතන්න. තේරුම් ගන්න. පාඩම් කර ගන්න. වචනයෙන්ද කියන්න.

​මෙම තණ්හා දහඅට තමා තුළද පවතී. අන් අය තුළද ඇතිවේ. එම තණ්හා 36ක් අතීතයේද පැවතුණේය, වර්තමානයේ ද පවතින්නේය, අනාගතයේද ඇතිවන්නේය. මෙසේ එකසිය අටක් ප්‍රභේද වන තණ්හාවම ගඟේ සැඩ පහරට උපමා කරන ලදී.

​කඳුකර ප්‍රදේශයකට වහින විට කුඩා කුඩා දිය පහරවල් ඇළ මාර්ග ඔස්සේ ගමන් කොට ක්‍රමක්‍රමයෙන් කුඩා ගංගාවලට පිරෙයි. කුඩා ගංගාවලින් එන දිය පහරවල් මහා ගංගාවලට පිරෙයි. මහා ගංගාවලින් එන දිය පහරවල් නොනැවතී සමුද්‍රය කරා ගමන් කොට සමුද්‍රය පුරවාලයි. මෙසේ ටිකෙන් ටික විශාල වන බැවින් ජල පහරට සැඩ පහර යැයි කියනු ලැබේ. තණ්හාවද එසේමය. එයත් ක්‍රමක්‍රමයෙන් විශාල වීමෙන් මහා තණ්හා ජාලයක් බවට, තණ්හා දැලක් බවට පත් වන්නේය. ලිහාගත නොහැකි වන සේ අවුල් ජාලාවක් වන්නේය. තණ්හා සැඩ පහර නොනැවතීම අපාය නැමැති මහා සමුද්‍රය වෙත ගලා බසින්නේය.

​මහා ජල පහරකට හසුවූ විටෙක ජල පහරක් සත්ත්වයන් ජලයෙහි ගිල්වා දමයි. හිස ඔසවාගෙන නිදහසේ ඉන්නටවත් ඉඩ නොදෙයි. මරණයට හෝ මරණය සමාන දුකකට හෝ පත් කරවයි. තණ්හාවද එසේමය. තණ්හා සැඩ පහරට හසු වූ විට, සත්වයා තණ්හාව තුළ ගිලී යයි. ප්‍රඥාව නැමැති හිස ඔසවාගන්නට අවස්ථාව අවම කරයි. අලෝභ, අදෝස, අමෝහ යන කුසල මූලයන් සිඳ දමයි. එය කුසලයන්ගේ මරණය හා සමානය. නැතිනම් කුසල ක්‍රියාත්මක වීමට ඇති ඉඩකඩ අවම කරයි. එයා මරණය හා සමාන දුකකට පත්වීම වැනිය.

ආධ්‍යාත්මික ආයතන හෙවත් ප්‍රිය වූ මිහිරි වූ වස්තුව

​ගඟේ පහළට පීනාගෙන යන මිනිසා වටිනා වස්තුවක් ලබා ගැනීමේ අදහසින් පීනාගෙන යයි. එම වටිනා වස්තුව ලෙස මෙම දේශනාවේදී උපමා කර ඇත්තේ ආධ්‍යාත්ම ආයතන හයයි. තමා තුළ පිහිටියා වූ, තමාගේ යැයි සලකන්නා වූ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ආධ්‍යාත්මික ආයතන නම් වෙයි. අප අතීතයේ පටන්ම තණ්හාවෙන් යුතුව මෙම ආයතන පසුපස එළවාගෙන පැමිණියෙමු. එහෙත් අපට මෙම ආධ්‍යාත්ම ආයතන තුළ හරවත් වූ යමක්, වටිනා වූ යමක් හමු වූවාද? සැබවින්ම නැත. මෙම ආධ්‍යාත්ම ආයතන හිස් ගෙවල් හයක් බඳුය. හිස් ගෙවල්වල මිනිසුන්ද නැත, වළං පිඟන්වලින් ආහාර පානද නැත. මෙම ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස තුළද සත්වයෙක් නැත, පුද්ගලයෙක් නැත, ආත්මයක් නැත, මම කියා කෙනෙක් නැත, ආත්මයකට අයත් වූ දෙයක්වත් නැත. ආත්මයකින් හිස්ය. ආත්මයට අයත් වන්නා වූ දේවල්වලින්ද හිස්ය. මේ හිස් බව, මේ ශුන්‍ය බව අවබෝධ කරගත් විට ආයතන මුල් කරගෙන හටගන්නා වූ ක්ලේශ ධර්මයන්ගෙන්ද නිදහස් විය හැකිය.

​බුදුරජාණන් වහන්සේ ආයතන පිළිබඳව දේශනා කළ මේ වචන ටික මොහොතක් හිතන්න. කියන්න. නැවත නැවත සජ්ඣායනා කරන්න. ආයතනවල යථාර්ථය තේරුම් ගන්න.

​ඇස නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයයි. අනිත්‍ය වූ ඇස දුකක්ද සැපක්ද? දුකයි. අනිත්‍ය වූ, දුක් වූ, වෙනස් වන්නා වූ ඇස මාගේ කියා සැලකීමට සුදුසුද? මම කියා සැලකීමට සුදුසුද? මාගේ ආත්මය කියා සැලකීමට සුදුසුද? නැත.

​කන නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයයි. අනිත්‍ය වූ කන දුකක්ද සැපක්ද? දුකයි. අනිත්‍ය වූ, දුක් වූ, වෙනස් වන්නා වූ කන මාගේ කියා සැලකීමට සුදුසුද? මම කියා සැලකීමට සුදුසුද? මාගේ ආත්මය කියා සැලකීමට සුදුසුද? නැත.

​නාසය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයයි. අනිත්‍ය වූ නාසය දුකක්ද සැපක්ද? දුකයි. අනිත්‍ය වූ, දුක් වූ, වෙනස් වන්නා වූ නාසය මාගේ කියා සැලකීමට සුදුසුද? මම කියා සැලකීමට සුදුසුද? මාගේ ආත්මය කියා සැලකීමට සුදුසුද? නැත.

​දිව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයයි. අනිත්‍ය වූ දිව දුකක්ද සැපක්ද? දුකයි. අනිත්‍ය වූ, දුක් වූ, වෙනස් වන්නා වූ දිව මාගේ කියා සැලකීමට සුදුසුද? මම කියා සැලකීමට සුදුසුද? මාගේ ආත්මය කියා සැලකීමට සුදුසුද? නැත.

​ශරීරය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයයි. අනිත්‍ය වූ ශරීරය දුකක්ද සැපක්ද? දුකයි. අනිත්‍ය වූ, දුක් වූ, වෙනස් වන්නා වූ ශරීරය මාගේ කියා සැලකීමට සුදුසුද? මම කියා සැලකීමට සුදුසුද? මාගේ ආත්මය කියා සැලකීමට සුදුසුද? නැත.

​මනස නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයයි. අනිත්‍ය වූ මනස දුකක්ද සැපක්ද? දුකයි. අනිත්‍ය වූ, දුක් වූ, වෙනස් වන්නා වූ මනස මාගේ කියා සැලකීමට සුදුසුද? මම කියා සැලකීමට සුදුසුද? මාගේ ආත්මය කියා සැලකීමට සුදුසුද? නැත.

​මහා විල

​මෙම දේශනාවේ මහා විල ලෙස සඳහන් කර ඇත්තේ පංච ඕරම්භාගිය සංයෝජන ධර්මයයි. ඕරම්භාගිය යනු 'පහළට තබන' යන අර්ථය ඇති වචනයකි. පහළ යනු කාම ලෝකයට නමකි. කාම ලෝකය යනු සතර අපාය, මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක හය සඳහා භාවිතා කරන නමකි. සක්කායදිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද යන සංයෝජන පහයි.

​රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ 'මගේය', 'මමය', 'මගේ ආත්මයය' යනුවෙන් සිටීම සක්කාය දිට්ඨියයි. එය විස්තර වශයෙන් විසි ආකාර වෙයි.

​බුද්ධ, ධම්ම, සංඝ, ත්‍රිශික්ෂා, පටිච්චසමුප්පාදය, අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලය තුළ තමා සිටියාද නැද්ද යන්න පිළිබඳ මෙම කරුණු අට පිළිබඳව ඇතිවන්නා වූ සැකය විචිකිච්ඡාවයි.

​බුද්ධ ශාසනයෙන් බාහිර වූ සීලව්‍රත සමාදානයෙන් නිර්වාණය අවබෝධ කර ගත හැකිය, දුකින් නිදහස් විය හැකිය යන වැරදි සංකල්පනාව සීලබ්බත පරාමාසයයි.

​රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි ඇති කැමැත්ත හෙවත් කාමච්ඡන්දය කාමරාගයයි.

​අකමැති වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි ඇතිවන ගැටෙන ස්වභාවය ව්‍යාපාද යයි.

දරුණු රළ පෙළ

​දරුණු රළ යනු ක්‍රෝධයට සහ උපායාසයට නමකි. ක්‍රෝධය යනු අන් අය අරමුණු කරගෙන හෝ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය අරමුණු කරගෙන හෝ සිත තුළ උපදින කිපෙන ස්වභාවයයි. එය ඉතා දරුණුය. ක්‍රෝධය ඇතිවූ විට අර්ථය නොවැටහෙයි, ධර්මය නොවැටහෙයි. ක්‍රෝධයෙන් යුතු පුද්ගලයා තමාට අයහපත පිණිස කටයුතු කරයි, අනුන්ට අයහපත පිණිස කටයුතු කරයි, තමාටත් අනුන්ටත් දෙපිරිසටම අයහපත පිණිස කටයුතු කරයි. ක්‍රෝධය විස සහිත දරුණු සර්පයෙකු සේම තේරුම් ගත යුතුය. දරුණු විස සහිත සර්පයකු ඔබගේ නිවසට ඇතුළු වූවා යැයි සිතන්න. ඔබ එම සර්පයා වහා නිවසින් බැහැර කිරීම කළ යුතුයි නේද? එසේම ක්‍රෝධය සිත තුළින් ඉපදුන විට සිතින් ඉවත් කර ගැනීම පිණිස වහ වහා කටයුතු කළ යුතුයි.

​උපායාසය යනු දරුණු ක්‍රෝධයයි. එය සිත තුළින් හටගත් කල, අළු යට පවතින ගින්දර සේ සිත කය දවමින් සිතෙහි පවතින්නේය. මුහුණෙහි වර්ණය වෙනස් කරයි. ඇස්වල පෙනුම රෞද්‍ර කරයි. ලේ ධාතුව අපිරිසිදු කරයි. බොහෝ කල් පවතින්නා වූ දරුණු ක්‍රෝධය නොයෙක් රෝග පීඩා ආදිය පවා ඇති කිරීමට හේතු වෙයි. කුසලය වනසන, අකුසලය වර්ධනය කරන, සතර අපායට ඇද දමන, දරුණු වූ ක්‍රෝධයත් උපායාසයත් නුවණින් දැක දැක, උපදින උපදින අවස්ථාවේදීම දුරු කළ යුතුය. පඤ්ඤාය දිස්වා දිස්වා පහාතබ්බෝ. ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කළ යුතුය.

​දිය සුළිය

​මෙම දේශනාවේදී දිය සුළිය යනුවෙන් අදහස් කර ඇත්තේ පංචකාම ගුණයන්ය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පංචකාම ගුණයෝය. කාමය හට ගැනීමට හේතු වන බැවින්, මේවා පංචකාම ගුණ කියා හඳුන්වයි.

​දරුණු යක්ෂයා

​දරුණු යක්‍ෂයාට උපමා කර ඇත්තේ කාන්තාවයි. ස්ත්‍රිය පුරුෂයාගේ බ්‍රහ්මචරියාවට මහත් වූ මළකඩකි. සිල්වත් වූ, ගුණවත් වූ, බ්‍රහ්මචාරී වූ ජීවිතය ශක්තිමත් යෝධ යකඩයක් වැනිය. ස්ත්‍රිය එම යකඩය විනාශ කරන මළකඩක් වැනිය. පුරුෂයාට ස්ත්‍රිය මළකඩක් වන්නේ යම් සේද, ස්ත්‍රියට ද පුරුෂයා මළකඩක් වන්නේ එසේමය.

​උඩුගම් බලා යාම

​උඩුගම් බලා පීනීම යනු නෙක්ඛම්මය හැඳින්වීමට යොදන ලද නමක් බව මෙම දේශනාවේ සඳහන්ය. කාමයන්ගෙන් නික්මීම නෙක්ඛම්මයයි. එක් දිනකට හෝ කාම වස්තූන් මුළු සිතින්ම අතහැර දමා අටසිල් සමාදන්ව විවේකස්ථානයකට වී සිටිය හැකි නම්, එය නෙක්ඛම්ම පාරමිතාවකි. මසකට වරක් හෝ දෙවරක් හෝ අටසිල් සමාදන් වී විවේකස්ථානයක සිට නෙක්ඛම්මය පිරිය යුතුමය. එය නිවන් මඟට මහත් සේ උපකාර වන්නේය.

​අතින් පයින් වීර්යය කිරීම

​අතින් පයින් වීර්යය කිරීම යනුවෙන් සඳහන් කර ඇත්තේ වීර්යය ආරම්භ කිරීමයි. නූපන්නා වූ අකුසල ධර්මයන් නූපදවීම පිණිසත්, උපන්නා වූ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිසත් බුද්ධ ශ්‍රාවකයා වීර්යය කළ යුතුය. නූපන්නා වූ සමථ විදර්ශනා ආදී කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිසත්, උපන්නා වූ හෙවත් තමා තුළ දැනට පවතින්නා වූ සමථ විදර්ශනා ආදී කුසල ධර්මයන් දියුණු කර ගැනීම පිණිසත් බුද්ධ ශ්‍රාවකයා වීර්යය කළ යුතුය.

​මෙතෙර සිටින ඇස් පෙනෙන මිනිසා

​මෙතෙර සිටින ඇස් පෙනෙන මිනිසා යනුවෙන් මෙම දේශනාවේදී පැහැදිලි කර දී ඇත්තේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ අපව නිවන් මඟට යොමු කරවන උතුමාණෝය. අපගේ මෙලොව පරලොව යහපත ගැනද, නිර්වාණය ගැනද කියා දෙන පරම ශ්‍රේෂ්ඨ වූ ශාස්තෘන් වහන්සේය.

දේශනාවේ අවසාන කොටස

​බුදුරජාණන් වහන්සේ විසින් ඉහත සඳහන් කරන ලද අර්ථය මෙසේද දේශනා කළහ:

​සහාපි දුක්ඛේන ජහෙය්‍ය කාමේ

යෝගක්ඛේමං ආයතිං පත්ථයානෝ

සම්මප්පජානෝ සුවිමුත්තචිත්තෝ

විමුක්තියා ඵස්සේ තත්ථ තත්ථ

ස වේදගූ වුසිතබ්‍රහ්මචරියෝ

ලෝකන්තගූ පාරගතෝති වුච්චතීති.

​නිර්වාණය මතු ප්‍රාර්ථනා කරන්නා වූ පුද්ගලයා ඉතා දුක සේ කාමය දුරු කළ යුතුය. විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් මනාකොට දන්නා වූ, මනාව මිදුණු සිත් ඇති එම තැනැත්තා ඒ ඒ මාර්ගඵලය අවබෝධ කරන විට ලැබෙන නිවන ස්පර්ශ කරන්නේය. හෙවත් නිවනට පැමිණෙන්නේය.

​චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති බැවින් 'වේදගූ' නම් වූ, වාසය කොට නිමා කරන ලද බ්‍රහ්මචරියාව හෙවත් නිවන් මඟ ඇති, පංච උපාදානස්කන්ධ ලෝකයෙහි කෙළවරට පැමිණියා වූ ඒ ආර්ය ශ්‍රාවකයා 'පරතෙරට ගියේ යැයි' කියනු ලැබේ.

​මෙම අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී.

​(ඉතිවුත්තක පාලිය)